Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාහිත්‍ය මාසයේ මුල් සතියේ බෞද්ධ සාහිත්‍ය සතියක්

සෑම වසරකම සැප්තැම්බර් මස මුල් සතිය බෞද්ධ සාහිත්‍ය සතිය ලෙස නම් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පියවර ගෙන ඇත. ඒ අනුව එළැඹෙන සාහිත්‍ය මාසයේ සැප්තැම්බර් 3 වැනි දා සිට බෞද්ධ සාහිත්‍ය සතිය ප‍්‍රකාශයට පත් කෙරෙන බව සම්මේලනය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ලබන මස 3 වැනිදායින් ඇරඹෙන සතිය පුරා පැවැත්වෙන උත්සව කොළඹ, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

මෙරට ප‍්‍රමුඛ විද්වතුන්, සාහිත්‍යකාමීන් ග‍්‍රන්ථ ප‍්‍රකාශකයන් හා පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බෞද්ධ සාහිත්‍ය සතිය තුළ බෞද්ධ සාහිත්‍යට ඉවහල් වූ ඉතිහාසය, පුරාවිද්‍යාත්මක සාධක හුවා දක්වන සම්මන්ත‍්‍රණ රැස්වීම්, පොත්, චිත‍්‍ර හා වටිනා දුර්ලභ ඓතිහාසික ඡායාරූප ප‍්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වේ.

සිංහල සාහිත්‍යයේ පෝෂණයට බෞද්ධ සාහිත්‍යයෙන් ලද පිටිවහල අතීතයේ සිට ජනජීවිතයේ ප‍්‍රබෝධයට හේතු වුණු අයුරු හුවා දක්වමින් පැවැත්වෙන බෞද්ධ සාහිත්‍ය සතියෙන් බෞද්ධ හැදියාවක් තුළ බුද්ධිමත්, සාරධර්ම පිරිපුන්, සාහිත්‍යකාමී පරපුරක් රටට දායක කිරීම අරමුණු වී ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි. පොත පත කියවීම පිළිබඳ පාසල් දරුවන් උනන්දු කරවීමේ අරමුණු පෙරදැරිව පුස්තකාල භාවිතය සිසුන්ට අනිවාර්ය කරමින් කියවීම අනිවාර්ය පාසල් විෂයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති මෙවන් යුගයක බෞද්ධ සාහිත්‍ය සතියක් පැවැත්වීමට පියවර ගැනීම රජයේ එකී අරමුණ සපුරා ගැනීමට ඉමහත් රුකුලක් වන බව සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පැවසීය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.