Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර

සැණකෙළිවලට ඉඩ නෑ; බොදු පුබුදුවට මෙවර මුල් තැන - ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ

සාකච්ඡා කළේ අසේල කුරුළුවංශ


ඇසළ පෙරහරේ කුඹල් පෙරහරක දියවඩන නිලමේ නිලංග ප‍්‍රදීප් දෑල බණ්ඩාර මහතා ගමන් කළ අයුරු.


කතරගම දේවාලයේ පෙරහරක කාවඩි නැටුමක අවස්ථාවක්.
සේයා රූ - ගාමිණී රණසිංහ

ශ‍්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික හා පෞරාණික වටිනාකම් ආරක්‍ෂා කර ගනිමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන සම්ප‍්‍රදායික පුද පූජාවන් නිසි අයුරින් ඉටු කිරීම දියවඩන නිලමේතුමන් සතු කාර්යභාරයකි. ඒ අතරින් දළදා සමිඳු උදෙසා පවත්වනු ලබන සතර මංගල්‍යයන් සාර්ථකව සංවිධානය කැර පවත්වාගෙන යෑම ප‍්‍රධාන තැනක් ගනී. දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද විශේෂ අවධානයට පාත‍්‍රව පවතින්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍රයන්ට අනුකූලව සාර්ථක ලෙස සංවිධානය කිරීම දියවඩන නිලමේ වෙත පැවරී පවතින්නා වූ තරමක් බාරදූර වූ කාර්යභාරයකි. ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය මෙන්ම දළදා මැදුරේ කාර්ය මණ්ඩල ප‍්‍රධානත්වය ද දරන්නා වූ වත්මන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සමඟ පෙරහර සංවිධාන කටයුතු හා එහි අන්තර්ගතය පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය - ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිලමේ ලෙස ඔබ පත්වීමෙන් පසු සංවිධානය කරනු ලබන තුන් වන පෙරහර මෙයයි. පෙරහර සඳහා සූදානම් වීම සිදු කෙරෙන්නේ කුමන ආකාරයෙන්ද ?

පිළිතුර - ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන මංගල්‍යයන් අතරින් විශාලතම හා ප‍්‍රසිද්ධම මංගල්‍යය වන්නේ ඇසළ පෙරහරයි. පෙරහර සඳහා සූදානම් වීම මුලින්ම ඇරඹෙන්නේ නැකැත් පත‍්‍ර සූදානම් කිරීමෙනුයි. එම කාර්ය ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නැකැත් වලට අනුකූලව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සිදුකරනවා. අනතුරුව දේවාල අභ්‍යන්තර පෙරහරත් කුඹල් හා රන්දෝලි පෙරහත් පවත්වනවා. මේ සඳහා නැකැත් අනුව දින තීරණය කරගත් පසු පෙරහර සංවිධාන කටයුතු ආරම්භ කරනවා.

ප‍්‍රශ්නය - පෙරහර සංවිධානය කිරීමේ දී දියවඩන නිලමේ වෙත පැවරෙන්නේ කිනම් කාර්යභාරයක්ද?

පිළිතුර - පෙරහර පැරැණි චාරිත‍්‍රයන්ට අනුකූලව විචිත‍්‍රවත් අයුරින් පැවැත්වීම දියවඩන නිලමේ සතු වගකීමයි. දළදා සමිඳුන්ගේ ගිහි බාරකරු ලෙසත් ශ්‍රී දළදා මැදුරේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා ලෙසත් පෙරහරේ සම්පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ දියවඩන නිලමේ වෙතයි. එය පන්දම් කරුගේ සිට පෙරහර කරඬුව දක්වාම විහිදෙනවා. මෙයට අමතරව පෙරහර දින 11 ක් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව එය සාර්ථකව පැරැණි චාරිත‍්‍රයන්ට ගරු කරමින් පැවැත් වූ බව සංදේශයක් මඟින් ජනාධිපතිතුමන්ට දැනුම් දෙනු ලබන්නේ ද දියවඩන නිලමේ විසිනුයි. එම අවස්ථාවට සිව් මහා දේවාල බස්නායක නිලමෙ වරුන් ද සහභාගි වෙනවා.

ප‍්‍රශ්නය - පෙරහර තුළ නැකැත් සඳහා විශේෂ ස්ථානයක් හිමිවෙනවා නේද?

පිළිතුර - ඔව්. පෙරහර ආරම්භ කිරීම සඳහා කප් සිටුවන්නේ නැකතට අනුවයි. පෙරහර ආරම්භ කිරීමට ප‍්‍රථම පෙරහර කරඬුව දළදා සමිඳුන් වැඩසිටින කුටියෙන් පිටතට වැඩම වන්නත් සුබ වේලාවක් තිබෙනවා. මෙයට අමතරව පෙරහර පිටත් වීමත් පෙරහර ගෙවදීමත් සිදු කරන්නේ නැකැත් වලට අනුවයි. අප මේ ආගමික උත්සවය පවත්වනු ලබන්නේ මෙම සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කර ගනිමිනුයි.

ප‍්‍රශ්නය - එහෙත් මේ වන විට අනාදිමත් කාලයක සිට පැවත එන්නා වූ සිරිත් විරිත් අමතක කර දමා වාණිජ අරමුණු වැඩිපුර පෙරහර තුළ ඉස්මතු කරලීමට වැඩි අවධානයක් යොමු කර තිබෙන බවට චෝදනා තිබෙනවා.

පිළිතුර - මා එය පිළිගන්නේ නැහැ. කාලයත් සමඟ පෙරහරේ යම් යම් වෙනස්කම් සිදුව තිබෙනවා. වෙස් නැටුම් පෙරහරට එකතු වුණෙත් පෙරහර ආරම්භ වී කාලයක් ගත වූ පසුයි. මේ ආකාරයට තව තවත් අලුත් දේ පෙරහරට එක් වී තිබෙන නමුත් එමඟින් පෙරහර සාම්ප‍්‍රදායන්ට හානියක් සිදු වී නැහැ. මා විශේෂයෙන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා වීදිවල වෙළෙඳ දැන්වීම් සහිත බැනර් ප‍්‍රදර්ශනය සඳහා කිසිසේත් මා ඉඩ ලබාදෙන්නේ නැහැ.නගර සභාව සමඟ එක්ව මේ සඳහා කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා.

ඇසළ පෙරහර යනු සැණකෙළි අවස්ථාවක් නොව ආගමික උත්සවයක් බව හැම දෙනාටම දැනෙන්න ඕන. පෙරහර සමයේ මහනුවරට පැමිණෙන ජනතාවට නගරයට ඇතුළු වන විටදීම මේ බව දැනෙන්න ඕන. ඒ සඳහා යම් යම් කි‍්‍රයාමාර්ග අප ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය - ඒ සඳහා ගෙන තිබෙන කි‍්‍රයාමාර්ගය?

පිළිතුර - පෙරහර සමයේ මහනුවර නාගරික බල ප‍්‍රදේශය තුළ ඇති බෞද්ධ සෑම නිවසකට හා වෙළෙඳ සැලකට බෞද්ධ ධජ ප‍්‍රදර්ශනය කරන්න කියලා අප ඉල්ලීමක් කැර තිබෙනවා. මෙයට අමතර කප් සිටු වන දින සිට දවල් පෙරහර දක්වා වූ දින 17 ක කාලයක් පුරා මහනුවර නගර සීමා බල ප‍්‍රදේශයේ හා ඊට ආසන්න ප‍්‍රදේශ වල ගව මස් වෙළෙඳ සැල්, මත්පැන් අලෙවි සැල් හා තුරඟ තරග සඳහා මුදල් ඔට්ටු අල්ලන ස්ථාන වසා දැමීමටත් කටයුතු කැර තිබෙනවා.

පෙරහර සමයේ සාමාන්‍යයෙන් මහනුවර නගරයේ ඇසළ සැණකෙළි පවත්වනවා. ඒවාටත් මෙවර ඉඩදීමක් කළේ නැහැ.

මහනුවර දිස්ති‍්‍රක්කයේ සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිවන ආකාරයේ විශේෂ සම්මන්ත‍්‍රණ වැඩමුළු පැවැත්වීමටත් මෙවර පියවර ගත්තා.

ශ්‍රී දළදා මාලිගාව, දළදා වහන්සේ, සතර මහා දේවල හා ඇසළ පෙරහර පිළිබඳව දරුවන්ගේ දැනුම හා අවබෝධය පුළුල් කිරීම සඳහා පාසල් හා දහම් පාසල් මට්ටමින් විශේෂ රචනා, කථික හා චිත‍්‍ර තරග පැවැත්වීමටත් සැළැසුම් කැර තිබෙනවා. මෙවැනි වැඩසටහනක් ඇසළ පෙරහර සමයේ කි‍්‍රයාත්මක වන්නේ ප‍්‍රථම වතාවටයි.

ප‍්‍රශ්නය - මහනුවර ඇසළ පෙරහර තුළ විශාල ලෙස ඉස්මතුවන්නේ උඩරට කලාකරුවන්ගේ දක්‍ෂතායි. මේ කලාකරුවන්ගෙන් තොරව පෙරහර පිළිබඳව කතා කිරීමවත් බැහැ. එහෙත් අද වන විට පෙරහර සඳහා කලාකරුවන් සොයා ගැනීමත් ගැටලුවක් වී තිබෙනවා නේද?

පිළිතුර - ඔව්. අතීතයේ කලාකරුවන් පෙරහරට තම දායකත්වය ලබා දුන්නේ වගකීමක් ඉෂ්ට කිරීමක් ලෙසයි. රජු කෙරෙහිත් දළදා වහන්සේ කෙරෙහිත් ඔවුන් තුළ පැවැති ගෞරවාදරය පෙරහර තුළින් ඉස්මතු වුණා. පෙරහරේ සියලු නිල කරුවන්ට එදා රජු ගම්බිම් ප‍්‍රදානය කළා. මේ නිසා ඔවුන් පෙරහර තමන්ගේම ජීවිතයේ කොටසක් කර ගත්තා. අද වන විට මේ තත්ත්වය වෙනස්ව ගොස් තිබෙනවා.

පැරැණි පාරම්පරික කලා ශිල්ප ක‍්‍රමයෙන් අභාවයට යමින් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කර ගනිමින් පැවති කලා ශිල්ප අද තරුණ පරපුර වැඩිපුර ප‍්‍රගුණ කරන්න පෙළඹෙන්නේ නැහැ. සමාජීය ආර්ථික ප‍්‍රශ්න රැසක් මීට හේතු වී තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔබ පැවසූ ආකාරයට අද වන විට සමහර ශිල්පීන් පෙරහරට සම්බන්ධ වන්නේ තමන්ට පැවරුණු වගකීමක් ඉෂ්ට කිරීමක් ලෙස සලකා නොවෙයි. පෙරහරට සහභාගි වී කිසියම් මුදලක් ලබා ගැනීමේ අරමුණ ශිල්පීන් තුළ පැවතුණහොත් ඔවුන්ගෙන් නිසි දායකත්වය පෙරහරට ලැබෙයි කියා විශ්වාස කළ හැකි ද?

පිළිතුර - පාරම්පරික කලාකරුවන් රැසක් පෙරහරට අදත් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ හද තුළ පවතින්නා වූ ගෞරවය පෙරදැරිවයි. මෙම මහා මංගල්‍යය විචිත‍්‍රවත් කිරීම උදෙසා ඔවුන් වසර ගණනාවක් පුරා අඛන්ඩව ඔවුන්ගේ දායකත්වය අපරිමිතව ලබා දී තිබෙනවා.

මෙහිදී ඔවුන් මුදල පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නැහැ. වසරකට වරක් පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ සිය කුසලතා ප‍්‍රදර්ශනය කොට දළදා සමිඳුන් උදෙසා පවත්වන පූජෝපහාරයට දායකත්වය ලබා දීම ඇතමකු සලකන්නේ තම ජීවිතයේ ලබන භාග්‍යයක් ලෙසයි. මේ අතර මුදල් අපේක්‍ෂාවෙන් පමණක් පෙරහරට සහභාගී වන පිරිස් ද ඉන්නවා. ඔවුන් අතරින් සමහරුන්ට වාදන හෝ නර්ථන හැකියාව ඇත්තේම නැහැ.

ප‍්‍රශ්නය - මෙවැනි අය නිසා පෙරහරේ විචිත‍්‍රවත් බව වියැකී යා හැකියි නේද?

පිළිතුර - මෙම තත්ත්වය අවම කිරීම සඳහා දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධ වන නැටුම් කණ්ඩායම් සියල්ල මා පෞද්ගලිකව මැදිහත්ව පරීක්‍ෂණ වලට භාජනය කළා. නර්තන කලාව මා කුඩා කළ සිට ප‍්‍රගුණකැර තිබීම නිසා එය වඩා පහසු වුණා. මෙය පළමු වරට කි‍්‍රයාත්මක කළේ පසුගිය වසරේදීයි. එහිදී වඩා සාර්ථක ප‍්‍රතිඵල අත්වුණා. ශිල්පීන්ගේ නර්තන ශෛලිය වගේම ඇඳුම් ආයිත්තම් පිළිබඳවත් මෙහිදී සැලකිලිමත් වෙනවා. ඒ ඔස්සේ තෝරා ගන්නා ශිල්පීන්ට හැඳුනුම්පතක් ද නිකුත් කරනවා.

මේ නිසා දළදා පෙරහරට බොරුකාරයින්ට සම්බන්ධ වීමේ අවස්ථා මඟහැරී තිබෙනවා. සාමාන්‍යයෙන් නැටුම් කණ්ඩායමකට අඩු තරමින් දස දෙනෙකු වත් ඉන්නවා. මේ අය අතරින් හොඳින් නර්තන හැකියාව ඇත්තේ තුන් හතර දෙනෙකුට පමණයි. සෙසු අය කරන්නේ නිකන් දඟලන එකයි. තවත් සමහරු වැඩිපුර කුඩා දරුවන් කණ්ඩායම එක්කර ගෙන අඩු මුදලක් ඔවුනට දී ඉතිරිය සාක්කුවට දා ගන්නවා. මේ සියල්ල නතර කර වඩා හොඳ විචිත‍්‍රවත් පෙරහරක් පැවැත්වීමට මගේ අරමුණයි. ඊට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මා පියවරෙන් පියවර ගන්නවා.

ප‍්‍රශ්නය - පෙරහර තුළ අලි ඇතුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෙරහර ඉදිරියට ගමන් කරන්නේ ද උඩරට වෙස් නැටුම් ශිල්පීන් නර්තන ඉදිරිපත් කරන්නේ ද ගජගා වන්නමට අනුවයි. එහෙත් අද වන විට හීලෑ අලි සීඝ‍්‍රයෙන් අඩු වෙමින් පැවතීම පෙරහරට සෘජුව බලපානවා නේද?

පිළිතුර - මෙය බරපතල ගැටලුවක් බව මුලින්ම කිව යුතු යි. දැනට වසර ගණනාවක සිටන් පෙරහර සංදේශය මඟින් මාත් මට පෙර සිටි දියවඩන නිලමේ තුමාත් මේ ප‍්‍රශ්නය රජයේ අවධානයට යොමුකර තිබෙනවා. ඒත් තවමත් ඊට නිසි කි‍්‍රයාමාර්ග ගෙන නැහැ. වත්මන් ජනාධිපතිතුමා මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බව පසුගියදා මහනුවර සංවර්ධන වැඩසටහන් අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේ පැවසුවා. අපි ඒ පිලිබඳ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.

අද වන විට හීලෑ අලි ඇතුන් අප රටේ සිටින්නේ 135 දෙනෙකු පමණයි. පසුගිය මාසය තුළ අලි තිදෙනෙකු මිය ගියා.

මේ අතරින් අලි ඇතුන් 90 දෙනකු පමණයි සිටින්නේ .වයස අවුරුදු 50 ඉක්මවලයි පෙරහරේ සධාතුක කරඬුව හා දේව ආභරණ වැඩම කරනු ලබන්නේ. දළ ඇතුන් මතිනුයි මේ වන විට අපේ හීලෑ අලි ඇතුන් අතර දළ ඇතුන් සිටින්නේ 18 දෙනකු පමණයි. මේ අතර කරඬුව වැඩම කළ හැකි පරිනත තත්ත්වයේ සිටින්නේ කතරගම වාසනා, මාලිගාවේ ඉන්දිරාජ, නඳුන්ගමුවේ ඇතා, වෑවල දෙනියේ ඇතා, මිල්ලන්ගොඩ ලොකු ඇතා හා පොඩි ඇතායි. දැනට ජීවත්ව සිටින මේ සත්තුටික මිය ගියාට පසු පෙරහර කරන්න වෙන්නේ අලි ඇත්තු නොමැතිවයි. එදාට පෙරහරේ ගෙනියන්න වෙන්නේ කාඩ් බෝඩ් වලින් හදපු අලි තමයි.

ප‍්‍රශ්නය - පෙරහරේ අලි ඇතුන් ගෙන යෑම සම්බන්ධව සත්ත්ව අවිහිංසාවාදය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන යම් යම් විරෝධතා එල්ල කරනවා නේද?

පිළිතුර - මේක බෞද්ධාගමට එරෙහිව කි‍්‍රයාත්මක කුමන්ත‍්‍රණයක්. මේ අයට පේන්නේ අපේ පෙරහරේ ගමන් කරන අලි විතරයි. විදේශ රටවල තුරඟ තරග පවත්වනවා.

ගව පොර තරග තියෙනවා. මෙම තරග වලදී සතුන්ට මොනතරම් වදයක් දෙනවද? මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එදා මේ රට යටත් විජිතයක්ව පැවති සමයේ ඇතැම් සුදු ජාතිකයෝ අලි නවසීය දාහ වෙඩි තියලා මැරුවා.

ඒ කරපු පව් අරවන්න තමයි අද මේ අය පෙරහරේ අලි ගැන කතා කරන්නේ මේ ළඟදී අලි දෙන්නෙක් ලොරියකින් ප‍්‍රවාහනය කරද්දී ලොරිය පෙරළුනා. මේ සිද්ධියෙන් අලි දෙන්නට ගොඩාක් තුවාල සිදුවුණා. පරිසර වේදීන් යැයි කියා ගන්නා අයවත් අවිහිංසා සංවිධානය නියෝජිතයින් වත් මේ වනතුරු මේ සත්තු දෙන්නට පැරසිටමෝල් පෙත්තක් දෙන්න ඉදිරිපත් වී නැහැ.

බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු සත්වයෙක් ලෙස අලියා හැඳින්විය හැකියි. අපේ චිත‍්‍ර කලා මූර්ති හැම එකකම සංඛ්‍යාත්මකව අලියා දක්නට ලැබෙනවා. සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ විටත් ඇය සිහිනෙන් දුටුවේ සුදු ඇත් පැටවෙක්.

පැරැණි රජ දවස සිව් රඟ සේනාවන්හි මුලින්ම ගියේ ඇත් සේනාවයි. මෙයින් බලන කල අලියා යනු සෞභාග්‍යයේ සලකුණක් සේ අර්ථ ගැන්වීම වරදක් නැහැ. මේ නිසයි අලියා පෙරහරට සම්බන්ධ කරගෙන තිබෙන්නේ. අපේ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් නැති පිරිස් වලට මෙය වැටහෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය - මියන්මාර් රජයෙන් මේ වන විට දළදා මාළිගාවට දළ ඇතුන් දෙදෙනකු පරිත්‍යාග කැර තිබෙනවා නේද?

පිළිතුර - ඔව්. එම ඇතුන් දෙදෙනා දළදා මාලිගාවට නිල වශයෙන් බාර දීම මෙම මස 28 දින එනම් නිකිණි පුර පසළොස්වක පොහෝදින මියන්මාර් අග‍්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනවා.

ප‍්‍රශ්නය - මහනුවර ඇසළ පෙරහර සාර්ථක කැර ගැනීම උදෙසා රජයෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක් ද?

පිළිතුර - මහනුවර ඇසළ පෙරහර ජාතික උත්සවයක් ලෙස ගැසට් කැර තිබෙනවා. පෙරහර සඳහා අවශ්‍යය සියලු ආරක්‍ෂක කටයුතු දියත් කෙරෙන්නේ රජයේ මෙහෙයවීමෙනුයි.

මෙවර හත්දහසක පමණ පොලිස් බලඇණියක් ඒ සඳහා යොදවා තිබෙනවා. මෙයට අමතරව ප‍්‍රවාහන, විදුලිය, දුරකථන, ජලය ආදී සියලු පොදු පහසුකම් රාජ්‍ය අංශයෙන් ලබා දෙනවා.

ප‍්‍රශ්නය - පෙරහර සඳහා අවශ්‍ය වියදම් සිදු කරන්නේ දළදා මාලිගාවෙන් ද?

පිළිතුර - දළදා මාලිගාවේ පෙරහර සඳහා වියදම් මාලිගාවෙනුත් සිව් මහා දේවාල පෙරහර සඳහා වියදම් එම දේවාල වලිනුත් සිදු කරනවා. මාලිගාවේ පෙරහරට පමණක් සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වැයවෙනවා.

ප‍්‍රශ්නය - පෙරහර නැරඹීමට සාමාන්‍යයෙන් අති විශාල ජනතාවක් දෛනිකව මහනුවරට පැමිණෙනවා. රට තුළ පවතින තත්ත්වය තුළ මේ අයට ආරක්‍ෂාව සැලසීම සඳහා විධිමත් කි‍්‍රයාමාර්ග ගෙන තිබේද?

පිළිතුර - එය පොලීසියේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන්නේ මේ සඳහා මහජනතාවගේ පැත්තෙන් ද විශාල සහයෝගයක් ආරක්‍ෂක අංශවලට හිමිවිය යුතු යි. එමඟින් තමයි සාර්ථක ආරක්‍ෂක වැඩපිළිවෙළක් දියත් කළ හැක්කේ.

පෙරහර නැරඹීමට එනවිට අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන එන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එය ආරක්‍ෂක අංශවලට ඔවුන්ගේ වැඩකටයුතු ඉටුකිරීමට පහසුවක් වේවි.

ජනතාව කල්තියා පෙරහර මාර්ගයට පිවිසීම ඉතා වැදගත් පෙරහර මාර්ගයේ අනවශ්‍ය ලෙස ඇවිදිමින් නොසිට ඉඩක් කල්තියා ලබා ගැනීමට ජනතාව කි‍්‍රයාකරන්නේ නම් එය ආරක්‍ෂක අංශවලට ඔවුන්ගේ රාජකාරී ඉටු කිරීමට වඩා පහසුවක් වේවි.

මෙවර මහ මළුවේ සිට පෙරහර නැරඹීමට කිසිවකුටත් අවකාශ සලසා නැහැ.

මෙයත් ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වී ගත් තීරණයක්. ඊට අමතරව පෙරහර ගමන් ගන්නා වීදි දෙපස පෙරහර මාර්ගයට කිසිවකුටත් ඇතුළු වීමට නොහැකි වන සේ ආරක්‍ෂක වැටක් ඉදිකරනවා.

ප‍්‍රශ්නය - පසුගිය වසරේ පෙරහර ගමන් මඟ කලින් ප‍්‍රකාශයට පත්කර තිබූ අයුරින්ම සිදුවුණේ නැහැ. මේ නිසා ජනතාව යම් අවස්ථාවල දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. මෙවරත් එම තත්ත්වය ඇති වෙයිද?

පිළිතුර - එවැනි පියවර ගන්නේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙවරත් එසේ විය හැකි යි. ඒත් අපි ජනතාවට පෙරහර මඟ මාධ්‍ය මඟින් දැනුම් දෙනවා.

නගරයට ඇතුළු වූ පසුත් එය පහසුවෙන් දැනගත හැකියි. ඒ සඳහා පෙරහර මඟ දැක්වෙන පුවරු සවිකර තිබෙනවා.

මෙහිදී වැදගත් යමක් මට කීමට තිබෙනවා. මහනුවර අති සුන්දර නගරයක්. දිරාපත් නොවන ප්ලාස්ටික්, පොලිතීන් වැනි දිරාපත් නොවන දේ නගරයට ගෙන ඒමෙන් වලකින්න කියලා මම පෙරහර නැරඹීමට එන ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.